ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ජීවනෝපාය සංවර්ධනය ,අධ්‍යාපනික,සෞඛ්‍යය,යන විවිධ ක්ෂේත්‍ර ගණනාවක් වෙනුවෙන් වසරක් පුරා දිස්ත්‍රික්කයේ මහජනතාවට සේවාවන් සිදු කළ සෙනහස සමාජ සුබ සාධන ක්‍රියාන්විතයට වසරක් සපිරේ.

මෙම සෙනෙහස ක්‍රියාන්විතයට වසරක් සැපිරීම නිමිත්තෙන් වැඩසටහනක් දකුණු පළාත් ගරු ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින (2023.07.06) සවස ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේදී පැවැත්විණි .
ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ සංකල්පයක් මත රාජ්‍ය නොවන සංවිධාන සමග අත්වැල් බැඳ ගනිමින් සරණක් අවැසි ජනයාට සරණක් වෙමින් සෙනහස සමාජ සත්කාරක සේවාව ක්‍රියාත්මක වූයේ මීට අවුරුද්දකට පෙර,ආර්ථික වශයෙන් පීඩාවට පත් ජනතාව ඉලක්ක කරගනිමිනි .
ගෙවී ගිය මෙම වසරක කාලය තුළ සෙනෙහස වැඩසටහන යටතේ ,දිස්ත්‍රික්කයේ වැඩි අවදානමක් සහිත අඩු ආදායම් ලාභී පවුල් 38,118 දෙනෙකු සදහා රුපියල් කෝටි 197ක් වැය කර තිබීම විශේෂත්වයකි .
අද වන විට මෙම සෙනෙහස සුබසාධන යාන්ත්‍රණය , දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් නගා සිටුවීමේ වැඩසටහනක් දක්වා සංවර්ධන වී ඇති අතර ,ඒ යටතේ ව්‍යවසායකත්ව සභාවක් ස්ථාපිත කර ඇත .එය දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයන් නියෝජනය වන පරිදි ව්‍යාප්තව ඇති අතර ,ඒ පිළිබඳව ඉදිරි සැලැස්මද,ඊයෙ දින ජනගත කෙරිණි .
මෙසේ වසරක් සපිරුණු සෙනහස ක්‍රියාන්විතය වෙනුවෙන් කෙටි වාර්තා චිත්‍රපටයක් එළිදැක්වීම, සෙනහස නිල වෙබ් අඩවිය සහ සෙනහස සඟරා කලාපය සහ ව්‍යවසායකත්ව සෙනෙහස කෙටුම්පත එළි දැක්වීම එදින සිදු විය .
එමෙන්ම රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචිත නවරත්න ගමගේ මහතාගේ සංගීතයෙන් මුසුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ හඩ මුසුවෙන් සෙනහස නිල ගීතය එළි දැක්වීම මෙදින සිදු කෙරිණි .
රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකින් ,ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා ඇගයීමට ලක් කෙරුණු අතර ,ප්‍රවීණ කිවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතාද ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ ඇගයීමට ලක් විය .
මේ අවස්ථාව සදහා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න මහතා ,අතිරේක දිස්ත්‍රික් ලේකම් චාමි රාජකරුණා මහත්මිය ඇතුලු සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ,රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් මෙන්ම ව්‍යාවසායකයින් කිහිප දෙනෙකුද සම්බන්ධ වී සිටියහ .

20  20

20  20

20  20