අපගේ දැක්ම

ගාල්ල දිස්ත්‍රික්කය සඳහා විශිෂ්ට රාජ්‍ය සේවාවක්

අපගේ මෙහෙවර

නිපුණතාවයෙන් හෙබි මානව සම්පත් සහිත දිස්ත්‍රික් , ප්‍රාදේශීය හා ග්‍රාමීය පරිපාලන ක්‍රමයක් තුළින් විශිෂ්ට රාජ්‍ය සේවාවක් තහවුරු කිරීම

උතුරින් කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවලින් ද, නැගෙනහිරින් මාතර දිස්ත්‍රික්කයෙන් ද බටහිරින් බෙන්තොට සිට ගොවියාපාන දක්වා කි.මී.73 ක් දක්වා විහිදී ගිය වෙරළ තීරයකින් යුක්ත ව ඉන්දියානු සාගරයෙන් ද මායිම් වන ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ සමස්ත වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 1651.6 ක් වන අතර එහි වර්ග කිලෝමීටර 16 ක් වූ අභ්‍යන්තර ජලාශ පිහිටා ඇති මෙකී භූමිය හැරුණු කොට වර්ග කිලෝමීටර 1635.6 කින් යුක්ත ගොඩබිම් ප්‍රදේශයකින් ද සමන්විත වේ.

                                                                    
ගාල්ල දිස්ත්‍රික්කයේ භු විෂමතාවය අනුව බොහෝ ස්ථාන තැනිතලා ස්වරූපයක් ගන්නා අතර රට අභ්‍යන්තරයට වන්නට කඳු පිහිටා ඇත . හිනිදුම කන්ද, තිබ්බොටුවාව කන්ද, කබරගල කන්ද, කොන්දගල කන්ද, කැකිරිහේන කන්ද, වාඩිය හේන හා බලගල යනාදි කඳු ඒ අතර වැදගත් වේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ භූමිය ප්‍රාග් කේම්බ්‍රීය යුගයට අයත් පාෂාණ වලින් නිර්මාණය වී ඇති අතර, රෙඩ් යෙලෝ පොඩ්සොලික් පාෂාණය දිස්ත්‍රික්කය පුරාවටම ව්‍යාප්තව ඇත. ඉතා දුර්ලභ ගණයේ පාෂාණ වර්ගයක් වන සඳකැන් පාෂාණය අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීටියාගොඩ ප්‍රදේශයේ ව්‍යාප්ත වී තිබේ. ජෛව විවිධත්වයෙන් යුතු කඩොලාන ශාක, වගුරු බිම් හා කළපු වෙරලාසන්න කළාපය පුරා ව්‍යාප්තව පැවතීම නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ භූ විෂමතාවයේ විවිධත්වය තවදුරටත් තීව්‍ර වී ඇත.සොබා දම් මෑණියගේ සුවිශේෂි දායාදයක් වන හික්කඩුව කොරල්පර දෙස් විදෙස් සංචාරක පාරාදීසයක් වන අතර රටේ දැවන්ත සංවර්ධනයකට මංපෙත් හෙළි කර දෙන්නක් බවට පත්ව ඇත.

                                                                                                                                                                                                                                                                             

නිරිත දිග මෝසම් වැස්ස මඟින් ප්‍රමාණවත් වර්ෂාවක් මෙම ප්‍රදේශයට ලැබෙන අතර මැයි සිට සැප්තැම්බර් දක්වා අධික වර්ෂාපතනයක් දක්නට ලැබේ. එයට අමතරව සංවහන වාසුළි ක්‍රියාකාරිත්වයෙන් ද වර්ෂාව ලැබේ. වාර්ෂික වර්ෂාපතනය අඟල් 80 – 160 ක් වන අතර සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය 75 F0 ක් පමණ වේ.

කබරගල කඳු වැටියෙන් ආරම්භ වී ගිංතොටින් මුහුදට එක්වන ගිංගඟ දිස්ත්‍රික්කයට අයත් ප්‍රධාන ගංඟාව වේ.මිනිස් වාසයෙන් තොර ස්වභාවික වැසි වනාන්තරයක් වන සිංහරාජ වනයෙන් පෝෂණය ලබන මෙම ගංඟාව ගාලු දිස්ත්‍රික්කයේ පානීය ජල පහසුකම් සපයාලයි. එයට අමතරව බෙං ගඟ, මාදු ගඟ, කොග්ගල ඔය ප්‍රදේශයේ දක්නට ලැබෙන කුඩා ප්‍රමාණයේ ගංගාවන් වේ. කලාපයේ පවතින අධික උෂ්ණත්වය හා ඉහළ වර්ෂාපතනය හේතු කොට ගෙන සශ්‍රික වනාන්තර නිර්මාණය වී ඇත. නිවර්තන තෙත් වනාන්තර ගණයට අයත් වන මෙන්ම ලෝක උරුමයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සිංහරාජ වනාන්තරයේ කොටසක් ද ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කයට අයත්වේ.

එමෙන්ම ප්‍රදේශයේ ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන ලෙස රාම රාවණ යුගයට සාක්ෂි දරණ රූමස්සල කදුවැටිය, ලංකාවේ යටත් විජිත යුගය සංකේතවත් කරමින් මුළු ප්‍රදේශය පුරා තේජස පතුරවමින් විජයමාන වන ගාල්ල කොටුව සහ කොටු පවුර, දෙවොල් දෙවියන්ගේ වාසභුමිය ලෙස සැලකෙන සීනිගම හා උණවටුණ වැ‍ල්ලේ දේවාල පුදබිම හා ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන වශයෙන් වැදගත් වන යටගල හා පරගොඩ පුජා භුමි ගාල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇත.

කෘෂිකර්මාන්තය හා සංචාරක කර්මාන්තය හරහා ගාල්ල දිස්ත්‍රික්කය ශ්‍රි ලාංකාවේ ජාතික ආදායමට සැලකිය යුතු දායකත්වයක් ලබාදේ. කෘෂිකාර්මික අංශය තුළ වී, තේ, රබර්, පොල්, කුරුඳු වැනි බෝග ප්‍රධාන තැනක් ගනි. එමෙන්ම බෙන්තොට, හික්කඩුව, කොග්ගල, උණවටුන වැනි වෙරළ ආසන්න ප්‍රදේශ සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රසිද්ධියක් දරයි.එමෙන්ම, ගාලු නගරයට කි.මී. 10 ක් පමණ දුරකින් කොග්ගල නිදහස් වෙළද කලාපය පිහිටා ඇති අතර ඉන් ප්‍රදේශයේ තරුණ තරුණියන් විශාල පිරිසකට රැකියා පහසුකම් සැලසී ඇත.

පුවත් සහ සිදුවීම්