Tamil-Sri LankaEnglish (United Kingdom)

News and Events
Location of the Office
රාජ්‍ය සේවා ස්ථාන
පුවත් සහ සිදුවීම්

Users online
අප සමඟ අමුත්තන් 14 ක් සබැදී සිටී
මුල් පිටුව අප ගැන දළ විශ්ලේෂණය

දළ විශ්ලේෂණය

 

අපගේ දැක්ම

ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා විශිෂ්ට රාජ්‍ය සේවාවක් ලබා දීම.


අපගේ මෙහෙවර

නිපුණතාවයෙන් හෙබි මානව සම්පත් උපයෝජනය සහිත දිස්ත්‍රික් මට්ටමේ උසස් පරිපාලන ක්‍රමයක් තුලින් විශිෂ්ට රාජ්‍ය සේවාවක් තහවුරු කිරීම.

 

උතුරින් කළුතර හා රත්නපුර දිස්ත්‍රික්ක වලින්ද නැගෙනහිරින් මාතර දිස්ත්‍රික්කයෙන්ද බටහිරින් ඉන්දියානු සාගරයෙන්ද මායිම්වන ප්‍රදේශය ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වේ. බෙන්තොට සිට ගොවියාපාන දක්වා වූ කි.මී. 73 ක් දිග පුළුල් වෙරළ තීරයක්ද මෙයට අයත් වේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ භූ විෂමතාවය ගත් විට බොහෝ ස්ථාන තැනිතලා ස්වරූපයක් ගන්නා අතර, රට අභ්‍යන්තරයට වන්නට කඳු පිහිටා ඇත. හිනිදුම කන්ද, තිබ්බොටුවාව කන්ද, කබරගල කන්ද, කොන්දගල. කැකිරිහේන, වාඩියහේන බලගල යනාදී කඳු ඒ අතර වේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ භූමිය ප්‍රාග් කේම්බ්‍රිය යුගයට අයත් පාෂාණ වලින් නිර්මානය වී ඇත. රෙඩ් යෙලෝ පොඩ්සොලික් පාෂාණය දිස්ත්‍රික්කය තුල වැඩිම ව්‍යාප්තිය දක්නට ලැබේ.  එමෙන්ම දුර්ලභ පාෂාණයක් වූ චන්ද්‍රකාන්ති පාෂාණය අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මීටියාගොඩ ප්‍රදේශයේ දක්නට ඇත. වෙරළාසන්න කළාපයන්හි භූ ව්‍යුහයන් ලෙස කඩොලාන ශාඛ වලින් යුතු වගුරු බිම් , කලපු, කොරල්පර දක්නට ඇත. ස්වභාව ධර්මයන්හි අපූර්ව නිර්මානයක් වූ හික්කඩුව කොරල්පර අප රටේ පමණක් නොව දේශ දේශාන්තර වල පවා ප්‍රසිද්ධියට පත්ව ඇත.  එය සංචාරක පාරාදීසයක් වන අතර රටේ සංවර්ධනයට විශේෂ බලපෑමක් ගෙන දෙන්නක් බවට පත්ව ඇත. දිස්ත්‍රික්කය වර්ග කිලෝමීටර් 1651.6 ක වර්ග ප්‍රමානයකින් යුක්ත වේ. ඉන් ගොඩබිම් ප්‍රමානය වර්ග කිලෝමීටර් 1635.6 ක් වන අතර වර්ග කිලෝ මීටර් 16 ක් අභ්‍යන්තර ජලාශ වේ.

නිරිතදිග මෝසම් වැස්ස මගින් ප්‍රමාණවත් වර්ෂාවක් මෙම ප්‍රදේශයට ලැබෙන අතර මැයි සිට සැප්තැම්බර් දක්වා අධික වර්ෂාපතනයක් දක්නට ලැබේ. එයට අමතරව සංවහන වාසුළි ක්‍රියාකාරීත්වයෙන්ද වර්ෂාව ලැබේ. වාර්ෂික වර්ෂාපතනය අඟල් 80 – 160 ක් වන අතර සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 75 ක් පමණ වේ. ප්‍රදේශය හරහා ගලා බස්නා ප්‍රධාන ගංගාව, සිංහරාජ අඩවියෙන් පටන්ගෙන ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට වැටෙන ගිං ගඟ වේ. ඊට අමතරව බෙන්තර  ගඟ, මාදු ගඟ, කොග්ගල ඔය ප්‍රදේශයේ දක්නට ලැබෙන කුඩා ප්‍රමාණයේ ගංගාවන් වේ.  කළාපයේ පවත්නා අධික උෂ්ණත්වය හා අධික වර්ෂාපතනය හේතුකොට ගෙන සශ්‍රීක වනාන්තර නිර්මානය  වී ඇත. නිවර්තන තෙත් වනාන්තර ගණයට අයත් වන එමෙන්ම ලෝක උරුමයක් බවට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සිංහරාජ වනාන්තරයේ කොටසක්ද ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වේ.

එමෙන්ම ප්‍රදේශයේ ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන වන රාම රාවණ යුගයට සාක්ෂි දරණ රූමස්සල කඳුවැටිය, ලංකාවේ යටත්විජිත යුගය සංකේතවත් කරමින් මුළු ප්‍රදේශය පුරා තේජස පතුරුවමින් විරාජමාන වන ගාල්ල කොටුව සහ කොටු පවුර දෙවොල් දෙවියන්ගේ වාස භූමිය ලෙස සැලකෙන සීනිගම හා වැල්ල දේවාල පුද බිම හා බෞද්ධ සිද්ධස්ථාන වශයෙන් වැදගත් වන යටගල හා පරගොඩ පූජා භූමි එම ප්‍රදේශයේ පිහිටා ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික ආදායමට ගාල්ල දිස්ත්‍රික්කය සැලකිය යුතු ආදායමක් ලබා දේ. එය කෘෂි කාර්මික කර්මාන්ත හා සංචාරක යනාදී ක්ෂේත්‍රයන් විසින් සපයනු ලැබේ. කෘෂිකාර්මික ‍ක්ෂේත්‍රය තුල වී, තේ, රබර් , පොල් කුරුඳු වැනි භෝග ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම බෙන්තොට, උණවටුන, හික්කඩුව, කොග්ගල වැනි වෙරළාසන්න ප්‍රදේශ සංචාරක ව්‍යාපාරය සමග සම්බන්ධ වන විශේෂ ප්‍රදේශයි.

ගාලු නගරයට කි.මී. 10 ක් පමණ දුරකින් කොග්ගල නිදහස් වෙළඳ කලාපය පිහිටා ඇති අතර ඉන් විශාල පිරිසකට රැකියා පහසුකම් සැලසී ඇත.